Thursday, January 13, 2011

ගංවතුරෙන් ආපදාවට ලක්වුවන්ට සහන සැලසීමේ වැඩ පිලිවෙල


වර්ෂාව, ගංවතුර හා වැව් අමුණු පිටාර ගැලීම නිසා මේ වන විට රටේ දිස්ත‍්‍රික්ක 12 ක ලක්ෂ 11 ක පමණ ජනතාවක් පීඩාවට පත්ව සිටිති. මරණ 23 වාර්තා වී ඇති අතර, නිවාස 2680 මුඵමනින්ම විනාශ වී ඇත.

මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, නුවරඑළිය, මොණරාගල, මහනුවර, මාතලේ, අනුරාධපුර, කෑගල්ල, ත‍්‍රිකුණාමලය, බදුල්ල සහ රත්නපුර දිස්ත‍්‍රික්ක වල මෙසේ ජනයා පීඩාවට පත්ව ඇති අතර, මඩකලපුව හා අම්පාර දිස්ත‍්‍රික්ක වල තවමත් වැසි ලැබෙමින් පැවැතීම තුළ තවදුරටත් ආපදා තත්ත්වය ඉහළ යන බව දක්නට ඇත.

මෙම ආපදා තත්ත්වය තුළ පීඩාවට පත්වු ජනයාට සහන සැලැසීම සියඵ ජනයාගේ වගකීම වන අතර, ඒ සඳහා සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ලෙස සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ අනිකුත් වෘත්තීය සමිති ද ඒකරාශී කර ගනිමින් සහන වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

මෙයට අදාලව ජනවාරී 16 සිට 20 දක්වා කාලය තුළ ආපදාවට පත් ජනයාට රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට අදාල අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පැකැට්ටුවක් බෙදා හැරීමේ වැඩපිලිවෙලක් දියත් කර ඇත. ඒ සඳහා ද්‍රව්‍ය ලෙස, සෙරෙප්පු, සබන්, දත් බුරුසු, දත් බෙහෙත්, සනීපාරක්ෂක තුවා, වතුර බෝතල් හෙද නිළධාරීන්ගෙන් රෝහල් මට්ටමින් එකතු කරන හා අනුග‍්‍රාහකයන්ගෙන් ලබා ගන්නා වැඩපිලිවෙලක් දැනට රෝහල් මට්ටමින් ආරම්භ කර ඇත.

එසේම ගංවතුර බැසයෑමෙන් පසු ඇතිවිය හැකි වසංගත රෝග බෝවීමේ අවධානමට මුහුණ දීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ පත‍්‍රිකා 50,000 ක් මුද්‍රණය කර බෙදා හැරීමට ද සංගමය කටයුතු කරමින් සිටී.

එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව අමාත්‍යාංශයේ ආපදා කළමණාකරණ ඒකකයේ සාමාජිකයෙක් ලෙස අප සංගමයද ක‍්‍රියාකරමින් ආපදාවට ලක්වු දිස්ත‍්‍රික්ක වලට විශේෂයෙන් මඩකලපුව හා පොළොන්නරුව දිසත‍්‍රික්ක වලට සෞඛ්‍ය කණ්ඩායම් පිටත් කර හැරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් ක‍්‍රියාකරමින් සිටී.


No comments:

Post a Comment