Monday, December 13, 2010

නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමයේ වැටුප් අරගලය ඉදිරියටම

නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමයේ වැටුප් අරගලය ඉදිරියටම

ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩල අනුමැතිය යටතේ පවතින නිදහස් වෙළද කලාප වල සහ ඉන් පිටත පිහිටි කර්මාන්ත ශාලාවල සේවකයින්ගේ වැටුප් සෑම වසරකම සංශෝධනය කිරීමට ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කටයුතු කරයි. මෙසේ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ක‍්‍රියාකරන්නේ එම ආයතනවල ආයෝජකයින් හට සපයනු ලබන බදු සහන සහ යටිතල පහසුකම් නිසා අනෙකුත් කර්මාන්ත ශාලාවල සේවකයින්ට වඩා වැඩි වැටුපක් සහ යහපත් සේවා කොන්දේසි ක‍්‍රියාත්මක කිරීමට වේ.


ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙසේ වැටුප් සංශෝධනය කිරීමේදී වෘත්තීය සමිති සමග සාකච්ඡා නොකිරීමේ පිළිවෙතක් දිගින් දිගටම අනුගමනය කරන අතර හාම්පුතුන් සමග පමණක් සාකච්ඡා කර අත්තනෝමතික ලෙස වැටුප් සංශෝධනය සිදු කරනු ලබයි. නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමය ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මෙම පිළිවෙතට විරෝධය පල කරමින් 2010 වැටුප් සංශෝධනය කිරීමේදී රාජ්‍ය අංශයේ නුපුහුණු සේවකයකුගේ අවම වැටුප වන රු 11,630/= සහ පුද්ගලික අංශයේ සේවකයකුගේ අවම වැටුප වන රු 6700/= යන වැටුප් පරතරය පියවීමට ප‍්‍රමණවත් වැටුප් වැඩි කිරීමක් ලබා දිය යුතු බව ඉල්ලා ඇත. එහිදී මෑතකදී වතු කම්කරුවන් ගෙන ගිය අරගලයේ ප‍්‍රථිඵලයක් ලෙස වතු කම්කරු වැටුප් වැඩි කිරීම පිළිබදවද කරුණු ඉදිරිපත් කර ඇත. වැටුප් සංශෝධනය කිරීමේ තීරණය ගැනීමේදී වෘත්තීය සමිති සමග සාකච්ඡා කළ යුතු බවටද ඉල්ලා ඇත.


මෙසේ ඉල්ලා සිටියදීත් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය 2009 ඔක්තෝබර් මස චක‍්‍ර ලේඛණයක් නිකුත් කරමින් රු 500/= කින් පමණ 2010 ජනවාරි මස සිට වැඩි කිරීමට තීරණය කර ඇති අතර එයද කටුනායක සහ බියගම වෙළද කලාප වල පිහිටි කර්මාන්ත ශාලාවල සේවකයින්ට පමණක් සීමා කර ඇත. ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙම අත්තනෝමතික සහ අසාධාරණ තීරණයට එරෙහිව උද්ඝෝෂණයක් දියත් කර ඇති නිදහස් වෙළ`ද කලාප සහ පොදු සේවා සේවක සංගමය රු 500/= වැටුප් වැඩි කිරීම වෙනුවට ප‍්‍රමාණවත් වැටුප් වැඩි කිරීමක් තීරණය කිරීම සදහා යළි සාකච්ඡුා අරඹන ලෙසත් කරනු ලබන වැටුප් වැඩි කිරීම සියලුම ආයතන වලට බලපාන පරිදි ක‍්‍රියාත්මක කරන ලෙසත් අනුර ප‍්‍රියදර්ශන අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත. පෝස්ටර් සහ අත් පත‍්‍රිකා බෙදා හරිමින් දියත් කර ඇති උද්ඝෝෂණය තුළින් සේවකයින් පෙළ ගස්වමින් සේවක සංදේශයක් අමාත්‍යවරයා වෙත භාර දීමටද මේ වන විටත් කටයුතු කරමින් සිටී. මෙසේ මෙම උද්ඝෝෂණය දියත් වෙද්දී ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් දෙසැම්බර් මස 01 වන දින නිකුත් කර ඇති තවත් චක‍්‍ර ලේඛණයක් මගින් ඔවුන් වැඩි කළ රු 500/= සියලුම ආයතන වලට ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත. මෙම උද්ඝෝෂණයේ එක් ජයග‍්‍රහණයක් ලෙස සලකන නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමය ප‍්‍රමාණවත් වැටුප් වැඩි වීමක් ලබා ගන්නා තෙක් මෙම උද්ඝෝෂණය ඉදිරියටම ගෙන යාමට කටයුතු කරමින් සිටී.

No comments:

Post a Comment