Wednesday, May 25, 2011

ප්‍රෝඩාකාරී පෙන්ෂන් පනතට එරෙහි උද්සෝෂණයට පොලිසිය පහර දෙයි, කම්කරුවන් අත් අඩංගුවට

ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පෞද්ගලික අංශයට අදාල ප්‍රෝඩාකාරි විශ‍්‍රාම වැටුප් පනතට එරෙහිව එකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ලෙස වෘත්තීය සමිති 26 ක සහාභාගීත්වයෙන් අද 2011/5/24 දින දහවල් 12.30 ට කොටුව දුම්රියපල ඉදිරිපිට දී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ක‍්‍රියත්මක කරන ලදී.
එයට සමගාමීව එකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයට අයත් වෘත්තීය සමිති විසින් කටුනායක නිදහස් වෙළද කලාපයේ දී විරෝදතා ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කර ලදී. මෙම විරෝධතා ක‍්‍රියාමාර්ගය සදහා අති විශාල ජනතාවක් සහභාගී වු අතර, එය ඉතා සාර්ථක ක‍්‍රියාමාර්ගයක් විය. නමුත් කටුනායක  නිඳහස් වෙළද කලාපයේ ක‍්‍රියාත්මක කළ විරෝධතාවය දවස පුරා ක‍්‍රියාත්මක වු අතර,  සවස 5 ට පමණ පොලිසිය විසින් එයට සම්බන්ධ උද්ඝෝෂකයන්ට පහර දී ඇත. මේ පහර දීම නිසා කම්කරුවන් කිහිප දෙනෙකුට තුවාල සිදු වී ඇති අතර, කම්කරු කාන්තාවන් ද බරපතල පහරදීම් වලට ලක් වී ඇත. පහර දීමෙන් පසු කම්කරු ක‍්‍රියාකාරීන් 15 ක් පමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙය පැහැදිලිව ආණ්ඩුව වෘත්තීය සමිති වලට දියත් කළ මර්දනයක් බව පැහැදිලිය. ප්‍රෝඩාකාරි පෙන්ෂන් පනත හරහා මතු වී ඇති කම්කරු අරගලය සාකච්ඡ කර සාමකාමීව විසදනවා වෙනුවට, මර්දනය දියත් කර එය යටපත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව පෙනේ.

මෙම මර්දනය වහා නතර කරන ලෙසත්, අත් අඩංගුවට ගත් කම්කරුවන් වහා නි`දහස් කරන ලෙසත්, කම්කරුවන්ගේ අරමුදල් මංකොල්ලා කන ප්‍රෝඩාකාරි පෙන්ෂන් පනත හකුලා ගන්න ලෙසත් ආණ්ඩුවට අවධාරණය කර කියා සිටින්නෙමු. එසේ නොවන්නේ නම් එම මර්දනයට එරෙහිව වහා වහාම දැවැන්ත වෘත්තීය සමිති විරෝධතාවයකට වැඩ කරන පංතිය කැඳවන බව අවධාරනය කර සිටිමු.

සමන් රත්නප‍්‍රිය

No comments:

Post a Comment