Sunday, December 26, 2010

අන්තර් ජාතික මානව හිමිකම් දිනයේදී

අන්තර් ජාතික මානව හිමිකම් දිනයේදී නිදහස් වෙළඳ කලාප සේවකයෝ
වෙළඳ කලාප ප‍්‍රධාන දොරටු අභියසදී මිනිස් අත්වැල් දම්වැලකින්
3B උද්ඝෝෂණය වටා පෙළ ගැසෙති.
ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලාවල සේවකයින්ගේ වාර්ෂික වැටුප් වැඩි කිරීම පිළිබඳව සිදු වන ක‍්‍රියාදාමය සෑම වර්ෂයක් ආරම්භයට පෙර සිට කරළියට පැමිණෙයි. පසුගිය සෑම වර්ෂයක්ම ආදර්ශයට ගනිමින් 2011 වසර සඳහා ද ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මෙවර ද සේවක නියෝජිතයින් සමග සාකච්ඡා නොකොට හාම්පුතුන්ගේ යෝජනා පමණක් පිළිගෙන වැටුප් වැඩි කිරීමේ නිර්දේශය නිකුත් කරන ලදී. 2010 නොවැම්බර් මස 01 වන දිනැතිව ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති/අධ්‍යක්‍ෂක ජනරාල් ආචාර්ය ජයම්පති බණ්ඩාරනායක මහතාගේ අත්සනින් යුතු චක‍්‍රලේඛණය මගින් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති නිදහස් වෙළෙඳ කලාප තුළ පිහිටි ආයතන වලට පමණක් රු. 500.00 ක වැටුප් වැඩි කිරීමක් නිර්දේශ කර ඇත. ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ එම වැටුප් නිර්දේශය හරහා ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩල අනුමැතිය යටතේ ඇති අනෙකුත් ආයතන නොසළකමින් වෙනස් ලෙස සැළකීමක් කියාපාන ලදී.


2011 වසර සඳහා වන වැටුප් වැඩිවීම සම්බන්ධව ආයෝජන මණ්ඩලය සමග සාකච්ඡා කිරීමේදී ඉස්මතු වන කරුණක් වනුයේ 2010 වසර සඳහා වන වැටුප් වැඩිවීම සම්බන්‍ධව පැවැත්වූ වැටුප් සාකච්ඡාවන්ය. 2010 ජනවාරි මස 19 වන දින ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති/අධ්‍යක්‍ෂක ජනරාල් ධම්මික පෙරේරා මහතා සමග පැවති සාකච්ඡාවට ඇඟඵම් ක්‍ෂේත‍්‍රයේ කම්කරු අයිතිවාසිකම් සඳහා වූ ව්‍යාපාරයේ ( ALaRM නියෝජිතයින් සමග නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ නියෝජිතයින් ද සහභාගී විය. එහිදී ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩල අනුමැතිය යටතේ පවතින ආයතන වල සේවක සේවිකාවන්ගේ 2009 දෙසැම්බර් මස මූලික වැටුප 15% කින් වැඩි කිරීමට එම ආයතනවලට නිර්දේශ කිරීමට ධම්මික පෙරේරා මහතා එකඟවුවද 2010 වර්ෂයේදී එම එකඟතාවය ඉටු කිරීමක් සිදු නොවිණි. ජනාධිපතිවරණ පොරොන්දුවක් වූ රු. 2,500/= බලාපොරොත්තුව සහ 15% ක වැටුප් වැඩිවීම 2010 වර්ෂය පුරාම බලාපොරොත්තුවක් පමණක්ම වෙමින් 2010 වර්ෂය ද නිමා විය.   

පසුගිය වර්ෂ වලදී ද ජීවත්වීම සඳහා සරිලන වැටුපක බලාපොරොත්තුව බිදීගිය නිදහස් වෙළෙඳ කලාප සහ කාර්මික පුරයන් ඇතුඵ ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලද කර්මාන්තයන්හි සේවක පිරිස් විසින් තම වැටුප් වැඩි කිරීමේදී සේවක පාර්ශවය සමග සාකච්ඡා නොකිරීම පිළිබඳව අප‍්‍රසාදය පළ කරමින් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ නායකත්වයෙන් 3B නමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කෙරිණි. එහිදී ඔවුන්ගේ මූලික ඉලක්කය වූයේ තම 2010 වසරේ දෙසැම්බර් මස මූලික වැටුප 30% කින් ඉහළ දමමින් වැටුප් සංශෝධනයක් ලබා ගැනීමයි.

2010 නොවැම්බර් මස 17 වන දින පස්වරු 3.00 ට කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේදී ඇරඹි 3B ගමනේ මුලික තේමාව වූයේ හොඳ වැටුප්, වැඩි ලාභ, BOI සමග හවුලට (Better Pay, Bigger Profit, With BOI Sharing)  යන්නය. පසුගිය වර්ෂයන්ට වඩා වෙනස් නැවුම් ආකාරයකින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් වීම මෙහිදී කැපී පෙණිනි. ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේද සහයෝගයෙන් තම ආයතන වැඩි ලාභ කරා ගෙන ගොස් තම සේවකයින්ට හොඳ වැටුපක් ලබා ගැනීම මෙහි මූලික ඉලක්කය විය.

මෙකී කාර්යභාරයේ මීළඟ පියවර වූයේ සේවක වැටුප් යහපත් වන්නේ නම් කාර්මික ලාභය වැඩි කරගත හැකි අතර එ වෙනුවෙන් ආයෝජන මණ්ඩලයට ද හවුල් වීමේ වගකීමක් ඇති බව අවධාරණය කරමින් තම වෘත්තීය සමිති නියෝජිතයින්ට 2011 වසර සඳහා වන වැටුප් වැඩිවීම සම්බන්‍ධව ආයෝජන මණ්ඩලය සමගින් සාකච්ඡා කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති/අධ්‍යක්‍ෂක ජනරාල් ආචාර්ය ජයම්පති බණ්ඩාරනායක මහතා වෙත තැපැල්පත් යවමින් සේවක පිරිස් විසින් ඉල්ලිමක් කිරීමය. ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය යටතේ සේවය කරන සේවකයින් මෙකී ක‍්‍රියාවේදී ගැට`ඵවකට මුහුණ පෑමට සිදුවිය. එනම් හදිසියේ යල් පිනූ නීති වගන්තියක් මතක් වූ තැපැල් බළධාරීන් එය දුහුවිලි පිසගෙන සේවකයින් විසින් එතෙක් රු. 4.00 බැගින් මුද්දර අලවා තැපැල් කරනු ලැබූ තැපැල් පත් බෙදා හැරීම නවතා දමන ලදී. තැපැල් බළධාරීන්ට අනුව එය සාමාන්‍ය තැපැල් පතකට වඩා ප‍්‍රමාණයෙන් යාන්තමින් වැඩිවී තිබුණි. එනිසා එ සඳහා රු. 12.00 ක මුද්දර ඇලවිය යුතුය. සොච්චම් වැටුපක් ලබන සේවකයින් මෙකී අභියෝගය හමුවේ නොසැළී නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ නියෝජිතයින් හරහා එම තැපැල් පත් අතින් භාර දීමට තීරණය කරන ලදී. එ අනුව 2010 දෙසැම්බර් මස 07 වන අඟහරුවාදා දින ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති/අධ්‍යක්‍ෂක ජනරාල් ආචාර්ය ජයම්පති බණ්ඩාරනායක මහතා වෙත එම කාර්යාලයේදී එම තැපැල් පත් භාරදීම සිදුවිය. මෙලෙසින් තැපැල්පත් දසදහසකින් පමණ කළ ඉල්ලීම ඵලදරමින් මේ සඳහා සාකච්ඡාවක් 2010 දෙසැම්බර් මස 15 වන දින ප.ව. 3.00 ට එම කාර්යාලයේදී පැවැත්වීම සඳහා ලිඛිත දැනුම්දීමක් සිදු කර ඇත.

කෙසේ වෙතත් මෙවැනි සාකච්ඡා සඳහා සහභාගී වී ඇති නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයට එහි අතීත මතක තවමත් ඇත. එ අනුව ඔවුන්ගේ මීළඟ පියවරෙහි එල්ලය වූයේ ජාත්‍යන්තර මානව හිමිකම් දිනය විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් ප‍්‍රඥප්තියට අනුව ද ජීවත් වීමට සරිලන වැටුපක් ලබා ගැනීම මානව හිමිකමක් වන අතර එය ශ‍්‍රී ලංකා රජය ද පිළිගත් සම්මුතියකි. රජය විසින් පිළිගෙන ඇති එම සම්මුතීන්ට ගරු කළ යුතු රාජ්‍ය ආයතනයක් වන ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සේවක නියෝජිතයින් ද සමග සාකච්ඡා කිරීමකින් තොරව ගත් මෙම වැටුප් නිර්දේශයට විරෝධය පෑමට හා ලබා දුන් මෙම සාකච්ඡාව ඵලදරන්නට අධිෂ්ඨාන ශක්තිය එක් කිරීමේ ක‍්‍රියාදාමයකට නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ නායකත්වය යටතේ සේවකයින් අත්වැල් දම්වැලකට ක‍්‍රියාකාරී සහභාගීත්වය දක්වන්නට විය. ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වූ දෙසැම්බර් මස 10 වන දින 3B උද්ඝෝෂණ ව්‍යාපාරය නිකුත් කළ කහ අත්පටි පැළඳ සේවයේ නිරත වූ සේවකයින් විසින් එදිනම සවස 5.00 සිට කටුනායක සහ බියගම වෙළෙඳ කලාප වල ප‍්‍රධාන දොරටුවන් අභියස අත්වැල් බැඳගෙන මිනිස් අත්වැල් දම්වැල මගින් 3B  ගමනට ශක්තිය එක් කිරීමට සංවිධානය වී තිබුණි. සේවක සේවිකාවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම මිනිස් දම්වැල ඉතා සාර්ථක වූ අතර එහි ශක්තිය ගෙන දෙසැම්බර් මස 15 වන දිනට යෙදී ඇති සාකච්ඡාව හරහා හොඳ වැටුපක්, වැඩි ලාභයක්, BOI සමග හවුලට යන්න ජයගැනීමේ අභිලාෂය ඇතිව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ නියෝජිතයින් එදින සාකච්ඡාවට මුහුණ දෙනු ඇත.  


නිදහස් වෙළද කලාප හා පොදු සේවා සේවක සංගමය










 

No comments:

Post a Comment