Monday, December 13, 2010

උතුරු පලාත් රජයේ සේවක ප‍්‍රශ්ණ වලට රජය වහා විසදුම් ලබාදිය යුතුයි.

උතුරු පලාත් රජයේ සේවක ප‍්‍රශ්ණ වලට රජය වහා විසදුම් ලබාදිය යුතුයි.

වෘත්තීය සමිති මහ සම්මේලනය මාර්තු 27 සිට 30 දක්වා උතුරු පලාතේ රජයේ සේවකයන් මුහුණ දෙන සේවා ප‍්‍රශ්ණ හා දුෂ්කරතාවයන් පිළිබදව සොයා බැලීම සදහා ඔවුන් හමුවී යාපනය හා වව්නියාව ප‍්‍රදේශවලදි සාකච්ඡා කරන ලදී.

මේ සදහා අප සම්මේලනයට අයත් සෞඛ්‍ය, තැපැල්, ගුරු, දුම්රිය, වරාය යන වෘත්තීය සමිතිවල නායකත්වය සහභාගි විය.


මෙහිදි උතුරු ප‍්‍රදේශයේ රජයේ සේවක ගැටලූවලට අඛණ්ඩව මැදිහත් වීම සදහා යාපනය දිස්ත‍්‍රික් කමිටුව හා වව්නියාව දිස්ත‍්‍රික් කමිටුව ලෙස දිස්ත‍්‍රික් සංවිධාන දෙකක්ද පිහිටුවන ලදි.


මෙම සාකච්ඡා වලදී ඉදිරිපත් වු ගැටලූ වලින් පහත සදහන ගැටලූ ප‍්‍රමුඛතාවයන් සේ සැලකිය හැකිය.

1.    2008 මැයි සිට 2009 මැයි දක්වා වන්නි ප‍්‍රදේශයේ රාජකාරි කල රජයේ සේවකයන් හට ඔවුන්ගේ රාජකාරී ලේඛන යුද්ධයෙන් විනාශ වීම නිසා වැටුප් වර්ධක හා දීමනා නොගෙවීම.

2.    දැනට රජයේ කාර්යාල, පාසැල් හා රෝහල් වන්නි ප‍්‍රදේශයට අයත් විශේෂයෙන් කිලිනොච්චි, මුලතිව්, ඔඞ්ඩුසූඩාන් වැනි ප‍්‍රදේශවල ආරම්භකල තිබුනද රජයේ සේවකයන් හට වව්නියාවේ හා යාපනයේ සිට එම ප‍්‍රදේශ වලට යැමට ප‍්‍රවාහන පහසුකම් ප‍්‍රමාණවත් නොවීම.


3.    යාපනය දිස්ත‍්‍රිකකයේ ගුරුවරියන් හට ප‍්‍රසූත නිවාඩු ලබා ගැනීම සදහා පුද්ගලික මුදල් වැය කර නිවාඩු ලබාගන්නා කාලයට අනුප‍්‍රාප්තිකයෙකු ලබාදීමට සිදුවීම.


4.    යුද්ධය නිසා පෞද්ගලික ලිපිගොනු විනාශ වූ රජයේ සේවකයන් හට නියමිත වැටුප නොගෙවා අවසාන වතාවට ගෙවු වැටුප පමණක් ගෙවීමට කටයුතු කිරීම තුළ අඩු වැටුපක් ලැබීම.


5.    යුද්ධය තීව‍්‍රර ලෙස පැවති අවස්ථාවේදි තම ජීවිතයද නොතකා පුදුකුඩිඉරිප්පු, කිලිනොච්චි, මුලතිව් වැනි රොහල් වල සේවය කළ සෞඛ්‍ය සේවාව, ගුරු සේවාව වැනි සේවාවල සේවකයන් හා නිළධාරීන් හට සේවා ඇගයිමක්වත් ලබාදීමට කටයුතු නොකිරීම.


6.    හෙද සේවාව, මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාව, ගුරු සේවාව හා තැපැල් සේවාව වැනි සේවාවන් වල පවතින විශාල පුරප්පාඩු  ප‍්‍රමාණය නිසා සේවාවන් පවත්වාගෙන යෑමේදී බරපතල දුෂ්කරතා මතු වීම.


7.    යුද්ධය නිසා තම නිවාස දේපල අහිමි වූ රජයේ සේවකයන් හට නිවාසයක් හෝ ගොඩනැගීමට සහන පදනම යටතේ විශේෂ ණය මුදලක් ලබා නොදීම.


8.    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ගෙවන කාර්යාල දීමනා ඉන්ධන දීමනා කිසිසේත් ප‍්‍රමාණවත් නොවීම නිසා සේවාවන් නිසි ලෙස පවත්වාගෙන යෑමට නොහැකිවීම. වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක දෙදෙනෙකුට යතුරුපැදි පවා නොමැත.


9.    මධ්‍යම රජයේ අමාත්‍යාංශ නිකුත් කරන චක‍්‍රලේඛ හා ලිපි ලේඛන දෙමළ භාෂාවෙන් නොලැබීම හා ප‍්‍රමාද වී ලැබීම නිසා අසාධාරණයන්ට ලක් වීම.


උක්ත ගැටලූ නිසා යුද්ධයෙන් පිඩාවට පත්වී ඇති උතුරු ප‍්‍රදේශයේ රජයේ සේවකයන් තව දුරටත් පිඩාවට පත්වෙමින් පවතින අතර මෙම අසාධාරණයන් හා සේවා ගැටලූ වලට වහා විසදුම් ලබාදිය යුතු බව උතුරු ප‍්‍රදේශය භාර ආණ්ඩුකාරවරයාටත් රජයේ බලධාරීන්ටත් අවධාරණය කරන්නෙමු.

No comments:

Post a Comment